NOW ON AIR
හින්දු බැතිමතුන්ට ජනපතිගෙන් සුභ පැතුම්
7th Mar - 11:14 | General | 408

දේවත්වය විෂයෙහි මනුෂ්‍යයා විසින් පවත්වන වත් පිළිවෙත් කෙරෙන් ප්‍රකට වනුයේ මිනිසා මුළු මහත් විශ්වයේම සහ මිනිසාගේ යහපත් ක්‍රියාවන් කෙරෙහි දක්වන අසීමිත බැතිමන් බව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන් ස්වකීය අධ්‍යාත්මික ශික්ෂණය ඇති කර ගැනීමට මෙන්ම ලෞකික ජීවන පැවැත්ම වඩාත් යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාම පිණිස පවත්වනු ලබන මහා ශිව රාත්‍රී දිනය කෙරෙන් වහනය වනුයේද මිනිසා යහපත කෙරෙහි දක්වන පූජනීය බැදීමයි.මෙම පූජනීය දිනයේදි හින්දු බැතිමතුන් ශාන්තිය සහ සැනසීම අපේක්ෂා කරන අතර ඔවුන්ගේ සියළු සිතුම් පැතුම් සහ පිළිවෙත්හි දැවටී පවතින්නේද අනොන්‍ය ලෙසින් එකිනෙකා වෙත ප්‍රාර්ථනා කරන්නාවූ සහජීවනයයි.දුරාතීතයේ සිට මිනිස් සිත් සතන්හි පිළිසිදගෙන අඛන්ඩව පැවත එන මෙබදු චාරිත්‍ර හැමවිටම පෙනී සිටින්නේ මිනිසාගේ සාමකාමී සහ අවිහින්සාවාදී පැවැත්ම උදෙසා බව ජනාධිපතිවරයා පවසයි.මිනිසා සහ දෙවියන් එකම මන්සලකදි මුණ ගැසෙන මෙවන් වන්දනාවන් සමස්ත මානව සංහතියේම යහ පැවැත්ම අගයන සැමගේ ගෞරවයට සහ පිළිගැනීමට ලක්විය යුත්තේ ඒ කෙරෙන් සමාජයට සාධනීය පණිවිඩයක් ප්‍රබල ලෙසම ප්‍රවේශවන බැවිනි.මහා ශිව රාත්‍රී දිනය එහි සැබෑ අරුතින් සමරන සියළු හින්දු බැතිමතුන්ට සුභ පැතුම් පිරිනමන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය මහා ශිවරාත්‍රී දින පණිවිඩයෙන් වැඩිදුරටත් කියා සිටියි.