NOW ON AIR
ගොවීන්ට සහනයක්
29th Feb - 16:42 | General | 299
ගොවීන් සඳහා ලබාදෙන සියලූම වර්ගයේ කිලෝ ග‍්‍රෑම් 50 ක පොහොර මිටියකට රුපියල් 2500 ක උපරිම මිලක් නියම කිරීමට ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් දෙයි.

එමෙන්ම අද මධ්‍යම රාති‍්‍රයේ සිට අල සහ ලොකු ළූණු ආනයනික බද්ද ඉහළ දැමීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

දිවයින පුරා ගොවි ජනතාව මුහුණ දී තිබෙන ගැටලූ පිලිබඳ සාකච්ඡා කිරීමට අදාළ සියලූ පාර්ශවල සහභාගිත්වයෙන් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡුාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේය.

මෙතෙක් වෙළඳපොළ තුළ කිලෝ ග‍්‍රෑම් 50 පොහොර මිටිය රුපියල් 2750, 3400 සහ 3500 මිල ගණන් යටතේ පැවතී අතර පොහොර මිලදී ගැනීමේදී ගොවි ජනතාව පත්ව ඇති අසීරුතාවය සැළකිල්ලට ගනිමින් ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම පොහොර මිටියේ මිල ප‍්‍රදර්ශනය කිරීම අනිවාර්යය කිරීමටද උපදෙස් දුන් ජනාධිපතිතුමා රජයේ සහ පෞද්ගලික අංශ දෙකේම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් බෙදා හැරීමටද උපදෙස් දුන්නේය.

හෙක්ටයාර් 01 ක් සඳහා රුපියල් 25,000 බැගින් ගොවි ජනතාවට ලබාදෙන පොහොර සහනාධාරය ගොවින්ගේ ඕනෑම බැංකුව පවතින ගිණුමක් සඳහා බැර කිරීමටත්, ගොවින් විසින් ලබාගෙන තිබෙන ණය මුදල් සඳහා එම මුදල් කපා නොහරින ලෙසත් ජනාධිපතිතුමා මෙහිදී නිළධාරින්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ගොවි ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයේ කිසිදු තීරණයක් නොගන්නා බවයි. එමෙන්ම ගොවි ජනතාව වෙත ආර්ථික බරක් පැටවීමට කටයුතු නොකිරීම රජයේ අරමුණ බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

වී මිලදී ගැනීම සහ පොහොර සහනාධාරය පිලිබඳ ගොවි ජනතාව මුහුණ දී සිටින ගැටළු පිලිබඳ එළැඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර එම ගැටළු නිරාකරණය කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

මෙම ගැටළු පිලිබඳ විශේෂ සාකච්ඡාවක් පොළොන්නරුව දිස්ති‍්‍රක් ගොවි සංගම් නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ පස්වරුවේ පොළොන්නරුවේදී පැවැත්වුණු අතර එහිදී එම නියෝජිතයින් ඉදිරිපත් කළ ගැටලූ පිලිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

රජය විසින් කි‍්‍රයාවට නංවා ඇති දේශීය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන පළාත් මට්ටමින් කි‍්‍රයාත්මක කිරීමේදී ලබා ඇති ප‍්‍රගතිය පිලිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර වස විස නැති රටක් ජාතික වැඩසටහන යටතේ මාර්තු 06,07,08 දිනවල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිත ජාතික ප‍්‍රදර්ශනය පිලිබඳවද සාකච්ඡා කෙරණි.

පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන රවී කරුණානායක, දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද, අදාළ සියලූ අංශ නියෝජනය කරමින් නිලධාරිහුද මීට එක්ව සිටියහ.