NOW ON AIR
ආර්ථික අභියෝග රටේ සංවර්ධනයට බාධාවක් කර ගන්නෑ - මුදල් අමාත්‍ය
29th Feb - 12:05 | Political | 295

කුමන ආර්ථික අභියෝගයන්ට මුහුණ දුන්න ද, එය රටේ සංවර්ධන කටයුතු සිදු කිරීමට බාධාවක් කර නොගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ණය බරින් මිරිකී ගිය ආර්ථිකයක් සංවර්ධන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම මේ වන විට සිදු කරමින් සිටින බවයි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා මේ බව කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ ප්‍රදේශයේ ඇළ මාර්ග පවිත්‍ර කිරීම සඳහා “ඇළ සමාජ” පිහිටුවීමේ නව සංකල්පය හඳුන්වාදීමේ උත්සවයට එක් වෙමිනි. ඒ යටතේ “රෙඩ්බානා ඇළ සමාජය” පිහිටුවීම අද (29) පෙරවරුවේ කොටහේන රෙඩ්බානා ඇළ අසල දී සිදු කෙරිණි. ඇළ සමාජ පිහිටුවීමේ අරමුණ වන්නේ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම සහ පවිත්‍ර කිරීමේ කටයුතු වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමයි. එමෙන් ම ඇළ පවිත්‍රව තබා ගැනීමේ වගකීම ද මෙමගින් ඔවුන් වෙත පැවරේ.
මෙහි දී ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පිළිබඳව ද අමාත්‍යවරයා අදහස් පළ කළේ ය. මත් කුඩුවලින් තොර සමාජයක් නිර්මාණය කළ හැක්කේ ඒවා භාවිත කරන පිරිස නොව බෙදා හරින්නන් නීතියේ රැහැනට හසු කර ගැනීමෙන් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා පැවැසීය. එබැවින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු බලපෑමකින් තොරව පොලීසියට පූර්ණ බලය ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
උත්සවයේ දී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා -
“මීට අවුරුදු දෙකකට විතර කලින් මේ ස්ථානයට ඇවිල්ල අපි මේ ප්‍රදේශ නිරීක්ෂණය කළා. ඒ වෙලාවේ අපි පැවැති පාලනයට දෝෂාරෝපණය කළා පැවති තත්ත්වයන් ගැන. ඔබ සියලු දෙනා අපට ආණ්ඩු බලය ලබා දුන්නේ සේවයක් අපේක්ෂාවෙන්. එදා කියපු දේවල් ප්‍රායෝගිකව සිදු කරන්න දැන් කාලය ඇවිල්ල. කතා කරපු කාලෙ වෙනුවෙන් ක්‍රියාවෙන් ඒක ඔප්පු කරන කාලෙ තමයි දැන් ඇවිල්ල තියෙන්නෙ.

රටේ මුදල් අමාත්‍යවරයා විදියට මම මුළු ශ්‍රී ලංකාවට සේවය කළත් මාව බලයට පත් කරන්න කටයුතු කළ උතුරු කොළඹ ජනතාව අමතක කරන්න මට බැහැ. ඒ නිසා තමයි කෙතරම් කාර්ය බහුල වුණත් මේ කටයුත්තට සහභාගී වෙන්න තීරණය කළේ. මේ ප්‍රදේශය වෙනුවෙන් නිවාස 15,000ක් විතර හදන්න සැලසුම් කර තියෙනවා. ඒ සඳහා ඉඩම් ලබා ගන්න අවශ්‍යයි. මම පොරොන්දු වෙනවා ඉදිරි වසර කිහිපය තුළ ඔබට හැකිවේවි මම පදිංචි නිවස කියල ආඩම්බරයෙන් කියන්න. මානව සම්පතෙන් ඉහළ, නමුත් ආර්ථික සම්පතින් අඩු උතුරු කොළඹ ප්‍රදේශය ආර්ථික සම්පතෙන් ද ශක්තිමත් ප්‍රදේශයක් බවට පත් කිරීම මගේ අපේක්ෂාවයි ” යනුවෙන් ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.
මෙම අවස්ථාවට කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර, කොළඹ නාගරික මන්ත්‍රීවරුන් වන මහේන්ද්‍ර සිල්වා, අලුත්ගෙදර චමින්ද යන මහත්වරු ද එක් ව සිටියහ.